33000.lk

Wednesday, January 28, 2015

Written on

උඩුවේ හිමිගේ පන්සලේ හොර අලි පැටියෙක්

උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩ සිටින පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ සිටියදී අවුරුදු දෙකක් පමණ වයසැති අලි පැටවෙකු සොයා ගත් බව වනජීවි නිලධාරීන් පවසනවා. මෙම අලියා ලබාගත් ආකාරය සම්බන්ධයෙන් ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බවයි ඔවුන් පවසන්නේ.
වනජීවි නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට ලැබුණු තොරතුරක් අනුව මෙම අලි පැටවා සොයා ගත් බවද වනජිවි නිලධාරීන් පවසනවා. එසේම මෙම අවස්ථාව වනජීවි නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාද  එක්ව සිටියා.
Written on

ශිරාණි ඉවත් කිරීමත් මොහාන් පත් කිරීමත් නීතියට පටහැනියි


ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම සහ මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ධුරයට පත්කිරීම නීතිය අනුව අවලංගු සහ බලශූන්‍ය කි‍්‍රයාවක් බව රජය පවසනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අගවිනිසුරුවරිය ධුරයෙන් ඉවත් කිරීමට පූර්ණ කොන්දේසියක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ප‍්‍රකාරව එසේ ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලූ යෝජනා සම්මතයක් නොවන බවයි. කෙසේවෙතත් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධුරයෙන් ඉවත් කිරීම සඳහා පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව ගත් කි‍්‍රයාමාර්ගය පිළිබඳව අදාළ නිවේදනයේ කරුණු පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

 බණ්ඩාරනායක මහත්මිය අදාළ ධුරයෙන් ඉවත් කිරීම සඳහා යෝජනාවක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ හැකි වන පරිදි විශේෂ තේරීම්කාරක සභාවක් පත්කිරීමේ යෝජනාවක් මුලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. එම තේරීම්කාරක සභාව පත්කෙරුණු අතර එහි තීරණය වූයේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම සඳහා ප‍්‍රමාණවත් චෝදනා ඇති බවයි. එම විශේෂ තේරීම්කාරක සභාවේ වාර්තාව 2013 වසරේ ජනවාරි 8 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. එය ජනවාරි 10 සහ 11 යන දිනවල විවාද කර අවසානයේ සම්මත කරගත් බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

 එහෙත් එම සම්මත වූ යෝජනාවේ සඳහන් වූයේ විශේෂ තේරීම්කාරක සභාවක් පත්කරගත යුතු බව යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ප‍්‍රකාරව අගවිනිසුරුවරිය ඉවත් කරන ලෙස ඉල්ලීමක් සම්මත වී නොතිබුණ ද එවක සිටි ජනාධිපතිවරයා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කර ඒ වෙනුවට මොහාන් පීරිස් මහතා පත්කළ බවද රජය පවසනවා.
Written on

අලුත් ආණ්ඩුවේ අයවැය හෙට

වත්මන් රජයේ අතුරු අයවැය හෙට ඉදිරිපත් කෙරෙනවා. මුදල් අමාත්‍යංශය සඳහන් කළේ අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ අයවැය හෙට පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. ඉකුත් ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙක ලෙස ඉදිරිපත් වූ වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ දින සියයේ වැඩපිළිවෙළ යටතේ ලබාදී ඇති ප‍්‍රතිඥාවක් අනුව අතුරු අයවැය ඉදිරිපත් කෙරෙනවා.



ජනතාවගේ ජීවන බර අඩු කිරීම මෙම අතුරු අයවැයෙහි තේමාවක් බව මුදල් අමාත්‍යංශය සඳහන් කරනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කිරීම, රජයේ සේවක වැටුප් ඉහළ දැමීම ඇතුළු සහන රැුසක් අතුරු අයවැයට ඇතුළත් බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසන්නේ. අදාළ සහන ලබාදීම මගින් අයවැය හිඟය කිසිදු ලෙසකින් වැඩිවීමට ඉඩ නොතබන බවද අමාත්‍යවරයා අවධාරණය කරනවා. පෞද්ගලික අංශයේ සේවක වැටුප් ඉහළ නැංවීමට ඉවහල් වන පසුබිමක් නිර්මාණය කිරීම සිය අරමුණ බවද අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරටත් පවසනවා.



මේ අතර රවී කරුණානායක මහතා අද හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රොනී ද මෙල් මහතා කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී හමු වී තිබෙනවා. 

Tuesday, January 27, 2015

Written on

විමල්ගේ නෝනත් වසර 4කින් තිරිහන් වෙයි

 හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රය සඳහා අසත්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් සීඅයිඩිය පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියයි.
ඇගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයේ උපන් වර්ෂය ලෙස 1967 හා හා රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයේ 1971 යොදා ඇති අතර ඒවායේ නම්ද වෙනස් බව පොලිසිය කියයි.

Written on

"වෙළේ සුදා මරන්න සැලසුමක්" ඕමල්පේ සෝභිත හිමියෝ පොලිස්පතිට කියති

ජාත්‍යන්තර කුඩු ජාවාරම්වලට සම්බන්ධ යැයි කියන වෙළේ සුදා හෙවත් සමන්ත කුමාරට මරණ තර්ජන ඇතැයි තමන්ට තොරතුරු ලැබී ඇති බව ජාතික හෙළ උරුමයේ සභාපති ඕමල්පේ සෝභිත හිමියෝ පොලිස්පතිවරයාට ලිපියක් යවමින් කියති.
වෙළේ සුදාගෙන් කුඩු ජාවාරම් සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන ප්‍රශ්න කිරීම්වලදී විවිධ පුද්ගලයින්ගේ නම් හෙළිදරව් වීම හේතුවෙන් ඔහුව ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව තමාට අනාවරණය වී ඇති බවත් ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත් සෝභිත හිමියෝ ඉල්ලා සිටිති.
Written on

ටවර් ලොක්කා තමන්ගේ තනතුරට තමන්ම අයදුම්පත් කැඳවීමේ අරුම පුදුම මහින්ද චින්තන සංකල්පය

ටවර් පදනමේ ලොක්කා පහුගිය ජනාධිපතිවරණය සඳහා තරඟ කළ හිටපු ජනාධිපතිවරයා පරාජය කිරීමට වග කිව යුතු සට්ටැඹි කලාකාර ලැයිස්තුවේ මුලින්ම සිටින්නෙකි.ලැජ්ජා නැතිකම ටවර් පදනම අධ්‍යක්ෂ ජෙනරාල් කමටත් වඩා ලොකු යැයි ප්‍රදර්ශනය කරමින් ඔහු නැත්නම් ටවර් පදනම අවසාන යැයි සිතමින්දෝ ගෙවලයෙක් මෙන් එල්ලී සිටී.
ලොකුම පුදුමය නම් මේ සට්ටැඹියා ටවර් පදනම භාරකාර මණ්ඩලයේ සභාපති අගමැතිතුමාගේ හෝ අදාළ අමාත්‍යාංශයේ ඇමතිවරයාගෙන්, ලේකම්තුමියගෙන් හෝ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් හෝ අනුමැතියකින් තොරව  21 වන දා පුවත්පත් දැන්වීම් මගින්  අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට අයැදුම්පත් කැඳවා තිබීමයි. මෙවැනි නීති විරෝධීව, තමන්ට නොමැති බලතල පාවිච්චි කරන මෙවැනි සට්ටැඹියන් වහාම පන්නා දමා නීති විරෝධී දැන්වීම් පළ කිරීමට අදාළ ගාස්තු ඔහුගෙන් අය  කර ගත යුතු බව කලාකරුවන්ගේ  චෝදනාවයි.
Written on

වෙලේ සුදාගේ කුඩු ජාවාරමට මන්ත්‍රී දුමින්ද හවුල්

අත්අඩංගුවට පත් වූ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සමග කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා සම්බන්ධතා පැවැත් වූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය අද පැවසුවා.
මේ වන විට කොළඹ පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියේ අත්අඩංගුවට පත් වූ ප‍්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා සමග මුදල් ගනුදෙනු කළ බවට පාපොච්චාරණය කර ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියා. එමෙන්ම වෙලේසුදාගේ සහ ඔහුගේ බිරිඳගේ ගිණුම් පරීක්ෂා කිරීමට ද නියෝග කෙරුණු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Monday, January 26, 2015

Written on

යෝෂිත රාජපක්ෂට එල්ලවූ චෝදනා මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වූ යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බඳවා ගත් ක්‍රමවේදය සහ එංගලන්තයේ ඩාර්ක්මන් රෝයල් ඇකඩමියේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සැලසුනේ කුමන අයුරින් ද යන්න සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙසට ජනතා විමුක්ති පෙරමුණ අද (26දා) ආරක්ෂක ලේකම් බී.එම්. යූ.ඩී. බස්නායක මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.
බස්නාහිර පලාත් සභා මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස, බස්නාහිර පලාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල හා කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රී අසිත නිරෝෂන යන මහත්වරු විසින් මේ පැමිණිල්ල අද බාරදුන්හ.
අදාල පැමිණිල්ලේ පිටපත පහතින්.


Written on

මහින්දානන්දටත් රට යෑම තහනම්


හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රය මාස 03ක කාලයක් සඳහා අතිහිටුවා තිබෙනවා. ඒ, අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව මගින්.
මේ පිළිබඳ මහින්දානන්ද අලූත්ගමගේ මහතාගෙන් ද කරුණු විමසීමක් කළා. ඔහු කියා සිටියේ මාධ්‍ය මගින් එවැනි තොරතුරක් දැනගත්ත ද ඊට හේතුව කුමක් දැයි තමන් නොදන්නා බවයි.
මම ජනමාධ්‍ය මගින් දැනගත්තා මාගේ විදේශ ගුවන් ගමන් බලපත්‍රය අල්ලස් දුෂණ කොමිෂන් සභාව මගින් මාස 03කට අත්හිටුවා ඇති බව. මීට හේතුව මම දන්නේ නැහැ. මීට වසර දෙකකට පෙර අල්ලස් දුෂණ කොමිෂන් සභාවෙන් මගේ වත්කම් පිළිබද පරීක්ෂණයක් පැවැත්වුවා.
පරීක්ෂණ පවත්වලා මට ලිපියක් නිකුත් කළා. ඒ පරීක්ෂණය අවසන් කළා ඒ පිළිබද වැඩිදුර ගෙන යාමට අවශ්‍ය නැහැ කියලා. එවැනි ලිපියක් ලබා දී තිබියදීත් නැවතත් මෙවැනි තීන්දුවක් ගැනීම ගැන මම දන්නේ නැහැ. කැඳවීමක් කළොත් මුහුණ දීමේ කිසිම ගැටළුවක් නැහැ.

හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය මාස 03ක කාලයක් සදහා අවලංගු කර තිබෙනවා. ඒ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව මගින්
Written on

අධ්‍යාපන ඇමතිගේ එක හැන්දෙන් බෙදිල්ල

දේශපාලනඥයින්ගේ ලැයිස්තු අනුව පළමු වසරට සිසුන් ඇතුලත් කර ගැනීම නතර කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
එම අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ පිළිබඳ පළාත් අධ්‍යාපන අමාත්‍යවරුන් වෙත චක‍්‍ර ලේඛයක් මගින් දැනුම්දීමට කටයුතු යොදා ඇති බවයි.
පළමු වන වසරට ළමුන් ඇතුලත් කරගැනීම තමයි පසුගිය කාලයේ අධ්‍යාපන අමාත්‍යංශයට වැඩියෙන්ම එල්ලවූ චෝදනාව. සමහර කාලවලදී හිතා ගන්න බැරි ප්‍රමාණයෙන් දේශපාලනය හරහා ලැයිස්තු දාලා තිබෙනවා.
මේවා මෙතැන් සිට නැවත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මහ ඇමතිවරුන්ගේ කෝටා එහෙකට යන්නත් බැහැ. අහිංසක ගම් වල සිටින ගොවියාගේ, කම්කරුවාගේ දරුවට පොරොත්තු ලේඛනයෙන් දැන් යන්න පුළුවන්. අපි මෙය පළාත් අධ්‍යක්ෂවරුන්ට දැනුම් දීලා තිබෙනවා. මෙය තදින්ම කරනවා. හැමෝටම සමානව සලකනවා තිබෙනවා.
ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීම සඳහා කමිටුවක් පත්කරන බවද අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී කියා සිිටියා.
විශේෂයෙන්ම ජාත්‍යන්තර පාසල් ආරම්භ කරන්නේ කුමන පරමාර්ථයෙන්ද? එතොනොල් ව්‍යාපාරයක් කරන කෙනෙක්ට නම් අපි එය කිරීමට ඉඩ තබන්නේ නැහැ.  ව්‍යාපාරයක් ලෙස කිරීමට ඉඩ තබන්නේ නැහැ. අනිත් රටවල් වල තිබෙන දෑ උකහාගෙන ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරනවා
Written on

වාහන අධ්‍යක්‍ෂකට රට යෑම තහනම්


ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන භාරව සිටි ප‍්‍රවාහන අධ්‍යක්‍ෂවරයාට විදෙස් ගමන් තහනම් කර තිබෙනවා. අදාල නියෝගය ලබා දුන්නේ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින්. ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන සියයකට වැඩි සංඛ්‍යාවක් තවමත් අතුරුදන්ව තිබෙනවා.
එම කාර්යාලයවලට අයත් තවත් වාහන ගණනාවක් විවිධ ප‍්‍රදේශවල සඟවා තිබිය දී සොයා ගැනුණා. අදාල විමර්ශන සිදුකෙරෙන්නේ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්. 
Written on

"තව මාස තුන හමාරකින් නැවතත් මහින්ද රාජපක්ෂ යුගයක් බිහිවෙනවා" -මුතුහෙට්ටිගම කියයි

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් තිදෙනෙකු බලහත්කාරයෙන් රැගෙන යාම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට එරෙහි නඩුව විභාගයට ගැනීම ලබන 23 වැනිදා දක්වා කල් තැබුණා.
ඒ, බද්දේගම මහේස්ත‍්‍රාත් චන්දිම එදිරිමාන්න මහතාගේ නියෝගයකට අනුවයි. ජනාධිපතිවරණ සමයේ ගාල්ල වඳුරබ ප‍්‍රදේශයේ වේදිකාවකට ගිනි තැබීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු බලහත්කාරයෙන් රැගෙන ගිය බවටයි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල වුණේ.
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි සාක්‍ෂි ඇතුළු සෙසු වාර්තා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාගේ උපදෙස් පතන බව පොලිසිය මෙහිදී අධිකරණයට දැනුම් දුන්නා.
අධීකරණයෙන්  පිටතට පැමිණි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ  ඕනෑම තත්ත්වයක් විඳදරා ගැනීමට තමන් සුදානම් බවයි. තවත් මාස කිහිපයකින් මහින්ද රාජපක්‍ෂ යුගයක් යළි උදාවන බවද නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මෙහිදී කියා සිටියා.

 අපි තව මාස තුන හමාරයි මෙහෙම ඉන්නේ. අපි අටලෝ දහම සුරකින මිනිස්සු හැටියට දුකේදී සැපේදී නින්දා අපහාස විදගනිමින්, ඒවා විදදරාගන්න පුළුවන් මිනිස්සු හැටියට අපි ලැබෙන දේවල් ඉවසාගෙන සිටිනවා. හැබැයි තව මාස තුන හමාරකින් නැවතත් මහින්ද රාජපක්ෂ යුගයක් බිහිවෙන බව මම විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා